යතුරුපුවරු දත්ත භාවිතය

හෙළකුරු යතුරුපුවරු මඟින් සිංහල අකුරු ලියැවෙන්නේ කොහොමද?

  • මෘදුකාංගමය යතුරුපුවරුවක් යනු, පරිශීලකයින් ඔබන යතුරු (Keys) තාක්ෂණිකව ග්‍රහණය කරගෙන ඊට අනුකූලව යම් භාෂාවක අක්ෂරයන් තිරය මත සටහන් කළ හැකි මෙවලමකි.
  • හෙළකුරු යතුරුපුවරු නිර්මාණය කර ඇත්තේ, පරිශීලකයින් ඔබන යතුරු අනුව සිංහල යුනිකෝඩ් අක්ෂරයන් තිරය මත සටහන් කළ හැකි ලෙසයි.
  • එලෙස සටහන් වන අක්ෂරයන් ස්වර, ව්‍යඤ්ජන අක්ෂර සහ පිළි ලෙස නිවැරදිව පෙළගැසෙන්නේ හෙළකුරු හි ඇති Input Method Editor මඟින් සිංහල භාෂා රීති වලට අනුව ඒවා නිසි ලෙස සැකසූ පසුයි.

හෙළකුරු යතුරුපුවරුවට පරිශීලකයා යතුරු කරන ඕනෑම දෙයක් ග්‍රහණය කරගත හැකිද?

  • මෘදුකාංගමය යතුරුපුවරුවකින් සිදුවන ප්‍රධානතම කාර්යභාරය, පරිශීලකයා යතුරු කරන යතුරු (Keys) ග්‍රහණය කරගෙන ඊට අදාළ අක්ෂර තිරයට නැඟීමයි. එම නිසා ඕනෑම මෘදුකාංගමය යතුරුපුවරුවකට පරිශීලකයා යතුරු කරන ඕනෑම යතුරක් තාක්ෂණිකව ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතී.

පරිශීලකයින් ඔබන යතුරු ග්‍රහණය කරගැනීමට හෙළකුරු මෘදුකාංගයට Android සහ iOS වැනි මෙහෙයුම් පද්ධති මඟින් අවසර ලැබෙනවද?

  • මෙහෙයුම් පද්ධතීන් මඟින් එම අවසරය යතුරුපුවරු මෘදුකාංගයකට ලබාදෙන්නේ, පරිශීලකයා යම් යතුරුපුවරුවක් සක්‍රීය කරමින් ඊට අවසර දුන් පසු පමණි.
  • ඕනෑම යතුරුපුවරුවක් සක්‍රීය කිරීමේදී මෙහෙයුම් පද්ධතියෙන් පරිශීලකයාට පෙන්වන පහත පොදු දැනුම්දීම හරහා මේ පිළිබඳව පරිශීලකයා දැනුවත් කර අවසර ලබාගනී.

එම දැනුම්දීමේ සඳහන් පරිදි යතුරුපුවරු මෘදුකාංග මඟින් පරිශීලකයාගේ පෞද්ගලික දත්ත ලබා ගන්නවද?

  • එම දැනුම්දීමේ අර්ථය නම්, ඕනෑම මෘදුකාංගමය යතුරුපුවරුවකට පරිශීලකයා යතුරු කරන ඕනෑම දෙයක් තාක්ෂණිකව ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතින බවයි.
  • පරිශීලකයා විසින් මෘදුකාංගමය යතුරුපුවරුවක යතුරු (Keys) එකින් එක ඔබා යතුරුකරන මුරපද සහ ක්‍රෙඩිට් කාඩ්පත් අංක වැනි ඕනෑම දෙයක් ඊට ඇතුළත්.
  • නමුත් ඒවා යම් මෘදුකාංගමය යතුරුපුවරුවක් මඟින් ලබාගන්නවාද නැද්ද යන්න මෙහෙයුම් පද්ධතිය නොදනී. මෙහෙයුම් පද්ධතිය මඟින් පරිශීලකයාට පෙන්වන ඉහත පොදු දැනුම්දීමේ Android මඟින් “may be able to collect” (ඇතැම් විට රැස්කරගනු ඇත) ලෙස ද iOS මඟින් “allows developer of this keyboard to transmit” (යතුරුපුවරුවේ නිර්මාණකරුවන්ට සම්ප්‍රේෂණය කිරීමට ඉඩ දෙයි) ලෙස ද සඳහන් කරන්නේ ඒ නිසයි.

මෘදුකාංගමය යතුරුපුවරු වලට එවන් හැකියාවක් පැවතීම පරිශීලකයාට අවදානමක් ද?

  • ඕනෑම මෘදුකාංගමය යතුරුපුවරුවකට පරිශීලකයා යතුරු කරන පුද්ගලික දත්ත ඇතුළු ඕනෑම දෙයක් තාක්ෂණිකව ග්‍රහණය කරගැනීමේ හැකියාවක් පවතින නිසා, මෘදුකාංගමය යතුරුපුවරු තෝරාගැනීමේදී පරිශීලකයා වඩාත් සැලකිලිමත් විය යුතුය.
  • වංචනික මෘදුකාංග නිර්මාණකරුවන්, පරිශීලක දත්ත සොරාගැනීම සඳහා මෙම තාක්ෂණික හැකියාව අවභාවිතා කිරිමේ දැඩි අවදානමක් පවතී.
  • එම නිසා, මෘදුකාංගමය යතුරුපුවරු තෝරාගැනීමේදී කිසිඳු වගකීමක් රහිත නිර්ණාමික නිර්මාණකරුවන් විසින් නිෂ්පාදනය කරන යතුරුපුවරු භාවිතා කිරීමෙන් වැළකී, නීතිමය වගකීමක් සහිත පිළිගත් නිර්මාණකරුවන් හෝ සමාගම් මඟින් නිෂ්පාදනය කරනු ලබන හෙළකුරු වැනි විශ්වාසනීය යතුරුපුවරුවක් භාවිතා කිරීමට පරිශීලකයින් වගබලා ගත යුතුය.

හෙළකුරු යතුරුපුවරුව මඟින් පරිශීලකයා යතුරු කරන දෑ ග්‍රහණය කරගැනීමට ඇති මෙම තාක්ෂණික හැකියාව භාවිතා කරන්නේ මොනවටද?

  • හෙළකුරු යතුරුපුවරුව මෙම තාක්ෂණික හැකියාව භාවිතා කරන්නේ එමඟින් සැපයෙන ප්‍රධානතම පහසුකම වන සිංහල සහ වෙනත් අකුරු යතුරු කිරීමේ පහසුකම් ලබාදීම සඳහා පමණයි.
  • එම පහසුකම් සැපයීමේදී පහත ආකාරයෙන් එම තාක්ෂණික හැකියාව භාවිතා වේ.
    • පරිශීලකයා ඔබන යතුරු ග්‍රහණය කරගෙන සිංහල භාෂා රීති අනුව ස්වර, ව්‍යඤ්ජන සහ පිළි ලෙසින් ඒවා නිවැරදි සිංහල අක්ෂර ආකාරයෙන් තිරයට නැගීමට.
    • පරිශීලකයා Word Predictions පහසුකම සක්‍රීය කර ඇත් නම්, යතුරු කරන අකුරු අනුව එම අකුරු වලින් පටන්ගන්නා වචන අනුමාන කරමින් Word Predictions පහසුකම ලබාදීමට.
    • පරිශීලකයා Word Predictions පහසුකම සක්‍රීය කර ඇත් නම්, පරිශීලකයා යතුරු කරන පුද්ගල නාම, ස්ථාන නාම වැනි අලුත් වචන යතුරුපුවරුව තුළම ගබඩා කරගනිමින් Self-learn කරන ලද වචන Word Predictions පහසුකම හරහා ලබාදීමට.
    • පරිශීලකයා යතුරු කරන ඉමෝජි අක්ෂර යතුරුපුවරුව තුළම ගබඩා කරගෙන පරිශීලකයාගේ පහසුව තකා, අවසන් වරට භාවිතා කළ ඉමෝජි අක්ෂර වෙනම පෙන්වීමට.

iOS සඳහා හෙළකුරු Setup කිරීමේදී ලබාදෙන “Full Access” හෙළකුරු යතුරුපුවරුවට අවශ්‍ය වන්නේ ඇයි?

  • iOS හි යතුරුපුවරු නිර්මාණය වන්නේ ප්‍රධාන “container” App එකක extension එකක් ලෙසිනි. එවැනි extension එකකට iOS මෙහෙයුම් පද්ධතියෙන් “Full Access” අවශ්‍ය වන්නේ, extension එක හා ප්‍රධාන “container” App එක අතර දත්ත හුවමාරු කරගැනීම සඳහායි.
  • හෙළකුරු යතුරුපුවරුවේ පරිශීලකයා විසින් වෙනස් කරන යතුරුපුවරු සැකසුම් සැකසිය හැක්කේත්, Self-learn කරනා Word Predictions වචන backup වීමේ පහසුකම් සැලසිය හැක්කේත්, Clipboard හි වාක්‍ය ඛණ්ඩ මතක තබා ගැනීමේ පහසුකම් සැලසිය හැක්කේත්, ප්‍රධාන App එක හරහා නිසා, ඊට අදාළ දත්ත යතුරුපුවරු extension එකෙන් ප්‍රධාන App එකට හුවමාරු කිරීම සඳහා මෙම “Full Access” අවසරය භාවිතා වෙයි.

හෙළකුරු යතුරුපුවරුව මඟින් පරිශීලකයා යතුරු කරන දෑ හෙළකුරු Servers වලට යැවෙනවද?

පරිශීලකයා භාවිතා කරන නව වචන Word Prediction පහසුකම හරහා ලබාදීම සඳහා වචන self-learn කරගන්නේ කොහොමද?

  • Word Predictions වචන self-learn කරගන්නේ පරිශීලකයා යතුරුපුවරු සැකසුම් (Keyboard Settings) හරහා Word Predictions පහසුකම සක්‍රීය කරගෙන තිබුනොත් පමණි.
  • Self-learn කරගැනීමේදී සිදුවන්නේ පරිශීලකයා යතුරු කරන නව වචන පරිශීලකයාගේම ජංගම දුරකථනය තුළ තැන්පත් වී, එම තැන්පත් වූ වචන ද Word Prediction හරහා පෙන්වීමයි.
  • ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට Word Predictions මඟින් රචනය යන ලිපිය කියවන්න.

පරිශීලකයා යතුරු කරන සෑම නව වචනයක්ම self-learn වෙනවද?

  • නැහැ. මුරපද (Password), ක්‍රෙඩිට් කාඩ්පත් අංක වැනි සංවේදී දත්ත කිසිවක් self-learn වීමක් සිදු නොවෙයි.

Self-learn කරන ලද වචන backup සහ restore කිරීමේ පහසුකම ලබාදෙන්නේ කොහොමද?

  • ඔබ හෙළකුරු PRO පහසුකම් පැකේජය භාවිතා කරන්නේ නම්, ඔබේ self-learn වූ වචන backup සහ restore කිරීමේ පහසුකම ඔබට ඉබේම හිමිවේ.
  • ඔබ වෙනත් දුරකථනයකට මාරු වූ විටෙක හෝ ඔබේ දුරකථනය reset කළ අවස්ථාවකදී, ඔබේ self-learn වූ වචන නව දුරකථනයට ලබාගැනීමට මෙම පහසුකම භාවිතා කළ හැකියි.
  • මෙම පහසුකම ලබාදීම සඳහා, ඔබ යතුරු කරන නව වචන කිසිවෙකුට හඳුනාගත නොහැකි පරිදි සංකේතනය (encrypt) වී, ඍජුවම ඔබේ Google Drive ගිණුම වෙත යැවීමක් සිදුවන අතර ඔබ එම වචන නැවත restore කරගන්නා විට ඒවා ඔබේ Google Drive ගිණුමෙන් ඍජුවම ඔබේ දුරකථනයට පැමිණ Personal Word Predictions වෙත එක් වීම සිදුවෙයි.

හෙළකුරු යතුරුපුවරුව මඟින් ලබාගන්නා වෙනත් පරිශීලක දත්ත තිබෙනවද?

  • පරිශීලකයා විසින් යතුරුපුවරුවේ වෙනස් කරන පහත ආකාරයේ යතුරුපුවරු සැකසුම් (Keyboard Settings) ද හෙළකුරු යතුරුපුවරුව මඟින් පරිශීලකයාගේ ජංගම දුරකථනය තුළම තැන්පත් කරයි.
    • පරිශීලකයා භාවිතා කරන්නේ ශබ්දානුකූල යතුරුපුවරුවද, විජේසේකර යතුරුපුවරුවද යන වග.
    • පරිශීලකයා Word Predictions, Voice Typing, Auto Correction, Number Row, Emoji Row වැනි පහසුකම් සක්‍රීය කරගෙන තිබේද, නැද්ද යන වග.
    • පරිශීලකයා සකස් කරගෙන තිබෙන යතුරුපුවරුවේ උස, අකුරු විශාලත්වය, යතුරුපුවරුවේ තේමාව කුමක්ද යන වග.
    • පරිශීලකයා භාවිතා කරන්නේ Basic පහසුකම් පැකේජයද, Pro පැකේජයද යන වග.
  • Pro පහසුකම් පැකේජය භාවිතා කරමින් සිටි පරිශීලකයෙක් අලුතින් App එක install කරගන්නා අවස්ථාවලදී එයට තම අනන්‍යතාවය ලබාදුන් සැණින්, පරිශීලකයාගේ පහසුව තකා මෙම යතුරුපුවරු සැකසුම් (Keyboard Settings) අවසන් වරට භාවිතා කළ පරිදි ඉබේම සැකසෙයි.
  • එම පහසුකම ලබාදීම සඳහා, ඉහත යතුරුපුවරු සැකසුම් දත්ත සංකේතනය (encrypt) කර පරිශීලකයාගේ Google Drive ගිණුම වෙත යැවෙයි. පරිශීලකයා App එකට අනන්‍යතාවය ලබාදෙන අවස්ථාවලදී, එම සැකසුම් දත්ත පරිශීලකයාගේ Google Drive ගිණුමෙන් ලබාගෙන පරිශීලකයාගේ ජංගම දුරකථනයේ තැන්පත් කෙරේ.

පරිශීලකයාට අනන්‍ය සැකසුම් ඉබේ සැකසීම සඳහා හෙළකුරු යතුරුපුවරුව පරිශීලකයාගේ අනන්‍යතාවය දැනගන්නේ කොහොමද?

  • හෙළකුරු යතුරුපුවරුවට පරිශීලකයාගේ අනන්‍යතාවය දැනගත හැක්කේ, පරිශීලකයා සිය කැමැත්තෙන් හෙළකුරු වෙත තම අනන්‍යතාවය ලබාදුනහොත් පමණි.
  • හෙළකුරු Pro පහසුකම් පැකේජය මිලදී ගැනීමේදී, පරිශීලකයා දැනටමත් තම ජංගම දුරකථනයට ප්‍රවේශ (Sign in) වී ඇති Google Accounts පරිශීලකයාට පෙන්වා, තම අනන්‍යතාවය ලබාදෙන ලෙස හෙළකුරු විසින් ඉල්ලා සිටින අතර, පරිශීලකයා අනන්‍යතාවය ලබාදුනහොත් පමණක් Google විසින් හෙළකුරු වෙත පරිශීලකයාගේ අනන්‍යතාවය ලබාදෙයි.

හෙළකුරු යතුරුපුවරුවට පරිශීලකයාගේ අනන්‍යතාවය අවශ්‍ය වන්නේ මොකටද?

  • හෙළකුරු යතුරුපුවරුවට පරිශීලකයාගේ අනන්‍යතාවය අවශ්‍ය වන්නේ හෙළකුරු Pro පහසුකම් පැකේජය මිලදී ගෙන ඇති පරිශීලකයින් හඳුනාගෙන, ඔවුන්ට පිරිනැමෙන අනන්‍යකරණය කළ (personalized) පහසුකම් සැලසීම සඳහාම පමණි.

පරිශීලකයාගේ අනන්‍යතාවය හෙළකුරෙන් සුරක්ෂිත කර ඇත්තේ කොහොමද?

තම අනන්‍යතාවය ලබා නොදී හෙළකුරු යතුරුපුවරුව භාවිතා කළ හැකිද?

  • ඔව්. හෙළකුරු යතුරුපුවරුවේ Basic පහසුකම් සියල්ල සහ හෙළකුරු තොරතුරු සේවා සියල්ල පරිශීලක අනන්‍යතාවය ලබාදීමකින් තොරව භාවිතා කළ හැකියි.

© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

හෙළකුරේ සුරක්ෂිතතාව : සමාජ වේදිකා දත්ත භාවිතය

යතුරුපුවරු දත්ත භාවිතය - හෙළකුරේ සුරක්ෂිතතාව | හෙළකුරු FACTS Knowledge Base
Still need help? Get in touch!
Last updated on 28th Aug 2023